පූජාභූමියේ උඩ මළුවේ උදේ පාන්දර පිරිත් ඇහෙන වෙලාව වෙනකොට මුදලාලි ලා කඩවල් අරින්න පටන් ගන්නවා. ඒ කඩ 'පොෂ්' කඩ නෙවෙයි. බොහොම අමාරුවෙන් එදා වේල හම්බකරගන්න, දිනපතා අරින වහන 'විඩාපත්' කඩ..
ඒ වෙලාව ගැන වත් නොහිතා කඩ අරින්නේ විශාල වශයෙන් එන වන්දනා නඩ වලට තමන්ගේ කඩ වල බඩු විකුණගන්න අපේක්ෂාවෙන්.. ඒ මිනිස්සු අතේ තියෙන්නේ සිලි බෑග් වල දාපු වතු සුද්ද මල්.
මල් ගැලපෙන්නේ බුදු හාමුදුරුවෝ ළඟ පූජා වෙන්න. මල් හිනා වෙන්නේ ඒකයි. ඒත් ඒවා සිලි බෑග් වලට ගැලපෙන්නේ නෑ. මල් අඬන්නේ ඒකයි..
මල් ලස්සන ගහේ තියෙනකොට. ඒ ගැන දුකටයි මල් අඬන්නේ. මල් පූජා වෙන්න යන්නේ බුදු හාමුදුරුවන්ට. ඒකයි මල් හිනා වෙන්නේ....
"පාන්දර උඩමළුවේ ඇහෙනකොට පිරිත් හඩ
මුදලාලි ලා ඇහැරවනවා විඩාපත් වුන තේ කඩ
දොර දෙකේ දිඟ බස්වල’ සුදු ඇදන් පැමිණෙන නඩ
වතු සුද්ද මල් හිනා වෙනවා සිලි බෑග්වල අඩ අඩ"
සාස්තර කියන උඹ හන්දියකට වෙලා පෙරුම් පුරනවා මොන පැත්තට ගියොත් ද කීයක් හරි වැඩිපුර හම්බකරගන්න පුළුවන් කියලා හිත හිත.. අද කාලේ සාස්තර අහන්න මිනිස්සු පෙළඹෙන්නේ හරිම අඩුවෙන්. සාස්තරයක් අහන්න අතක් දික් කරන්නෙත් ඕනිවට එපාවට. අහක බලාගෙන වගේ ඒ දික් කරන අතක් බලාගෙන කොච්චර නරක පෙනුනත් කියන්නේ හොඳ විතරයි. ඒ ලැබෙන ගාන අඩු වීම උඹට පාඩුවක් නිසා..
"උඹ හිටියේ හරියටම තුන්මන් හන්දියක් ලඟ ඉඳගෙන
මොන පාරේ යනවද “හෝ දහය විස්ස තිහ” ගැන ගැන
අහක බලාගෙන වගේ දෙන සියුමැලි අතක් අරගෙන
හොඳම දේවල් ටිකක් කිවුවා නරක සේරම දැනගෙන"
අත් දෙකේ රේඛා දිහා බලන්නේ හරියට ඇහි පිහාටු කියන පනාවෙන් අත් දෙක පීරනවා වගේ.. ඒත් අනාගතයම කියන්න පුළුවන් උඹේ ජීවිතය ප්‍රශ්න ගොඩක් පිරුණු තැනක්. ඒ ඇයි??
"දෑතේ රේඛා පීරන
පනාවකි ඇස් පිහාටු
අනාගතයම තෝරන
ජිවිතේ ඇයි කුණාටු?"
බොහොම පොහොසත් පොෂ් මිනිස්සුන්ගේ මූණු වල අව්‍යාජ හිනාවක් දකින්න බොහොම අමාරුයි. ඒ හිනාවන් හරිම කෘතිමයි. ප්ලාස්ටික් වට්ටි වල නෙළුම් හිනා වෙන්නේ බලෙන්. ඒත් වැවේ පිපුණ නෙළුම් ස්ව්භාවිකයි. ලස්සනයි. සාස්තරය කිව්වට පස්සේ ගාන කිව්වම ඒ මිනිස්සුන්ගේ ඇස් නළල ට යනවා. ඒ කියන්නේ නළල රැලි වැටෙනවා.. පුදුමයක් නෙවෙයි. පොහොසත් එකා දන්නේ දුප්පත් එකාගෙන් ප්‍රයෝජනයක් ගන්න විතරයි. බඹරු දන්නේ මලෙන් රොන් ගන්න විතරයි..
"ප්ලාස්ටික් වට්ටිවල නෙළුම් හිනා වෙන්නෙත් බලෙන්
විසදන්න බැරි තැන් නැද්ද කර්මය කර්ම ඵලෙන්
හුඟක් ඇස් නළලවල්' වල උබ කිව්ව පොඩි මිලෙන්
පුදුමයක් නෑ බඹරු දන්නේ රොන් ගන්න විතරයි මලෙන්"
අපි කාගෙ කාගෙත් ජීවිත වල හිඩැස් තියෙනවා කවදාවත් පුරවන්න බැරි. ඉතින් සාස්තර කියන උඹේ ජීවිතේ සැප එකක් නොවී කොහොමද අපේ ජීවිත සැපවත් කරන්න, ඒ හිඩැස් පුරවන්න සාස්තර කියන්නේ.. ඉනිවැටක් වත් නැතුව කොහෙන්ද ලීස්තර වැටවල්...
උඹ සාස්තරේ කියන අත් වල කියුටෙක්ස්, රත්තරන් මුදු, මෙහෙන්දි, සහ එක එක මෝස්තර දැකලා උඹට දුක හිතුණොත් ටිකකට අහක බලපන්. කියපන් වැරදි සාස්තරයක්...
"අපේ ජිවිත හැම තැනම’ පුරවන්න බැරි කුස්තුර
ඉනිවැටක් වත් නැතුව’ වැටවල් කොහෙද ලීස්තර
උබ රේඛා ගනින අත්වල’ තියන අරුමෝසම් මෝස්‌තර
දුක හිතෙනකොට අහක බලපන්’ කියපන් වැරදි සාස්තර"
මේ මුළු සංසාරයම මහා කුණාටුවක්. ජීවිතේ කියන්නේ ඒකේ තියෙන ඉරෙන රුවලක්. අස්ථිරයි...
ඉසුරුමුණියේ ඉන්න පෙම් යුවල විතරයි අපි දකින්නේ, කතා කරන්නේ. ඒත් අපි නොදන්න ගොඩක් කතා එහෙත් තියෙන්න ඇති. සාස්තර කිව්ව, සාස්තර කියන මේ වගේ දුක් කන්දක් හිතේ හංගගත්ත සාස්තර යුවලක් එහෙත් ඉන්න ඇති...
"මහා කුණාටුවක් මැද
ජිවිතේ ඉරෙන රුවලක්
ඉසුරුමුණියෙත් ඉන්නවා
සාස්තර කියන යුවලක්"
~ රන්දුනු යසරංග ~