0

හීන මවනවද හිර වී හිමි නැති පපුවක

මේ ඉරයි හදයි තනි අහසක 
පායන දවසක 
එක මොහොතක් මගේ වේලා
උයනක වෙරළක 
හිනමවනවද හිරවී 
හිමි නැති පපුවක

රුදු කටු වදන් කටු ඇණි 
හිරුනු සමනල තටු වල 
මුදු බැලුම් පවන් රැලි 
අතුරා නිවාලන්න දුක
සුර ගගක් ගලා ගිය නිම්නෙක 
නොතෙමා යටි හිත 
පිනි බිදක් වේලා තිබුනත් ඇති
ආදර පවසට

අකුරු වලට පෙරලේන්නැති
දරදඩු සුසුමට 
මිතුරු ඇස් වලින් සගවන 
උණුසුම් කදුලට
ඔහේ ගලායන්න ඉඩදී 
හිත ඉල්ලන තාලෙට 
ආදරේ හොයමු අපි ඉස්සර 
හංගපු තැන වල
0

පෙරවදනක් වී



පෙරවදනක් වී මගේ කතාවට 
පටුන ලියන්නට හීන එවා..
පිටුවෙන් පිටුවට ගෙතු කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා..

අරුත බිඳී ගිය අන්දරයක රස
කිමැයි කියා නොදැනෙන හින්දා..
තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ
මෙතෙක් ලියූ කිවිඳියම පතා..

පැතූ කතාවේ නිමක් දකින්නට 
උපන් භවේ පින මදි හින්දා..
බලා හිඳිමි මතු භවයක හෝ
පසුවදන ලියන්නට එතැයි කියා..

පෙරවදනක් වී මගේ කතාවට 
පටුන ලියන්නට හීන එවා..
පිටුවෙන් පිටුවට ගෙතු කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා..
0

හන්තාන දෙසින් එන



හන්තාන දෙසින් එන
මුදු සීත සුළං රැළි
ඔබ තාම හොඳින්
හඳුනනවා නම්..
මේ පහන ඔබේ
සුරතින් දැල්වූ
මං බොහොම
ප්‍රවේසම් කර ගන්නම්…
සංසාර පුරුද්දට දෝ මන්දා
ගංගාව ශෝකයෙන් වැළපෙනවා
මං තාම මහාවැලි ගං ඉවුරේ
වැළි පාර දිගේ හවසට යනවා…
තනිවී අද මා මේ වැව රවුමේ
දළඳා පෙරහැර සිරි නරඹනවා
මහ සෙනඟ අතර ඔබ කොතැනක හෝ
එහි හිඳිනු ඇතැයි නිකමට සිතිලා…
0

ගිමන් හරින දියඹ දිගේ



ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා ර‍ටා මවනවා..

හිත් දැහැනේ වේලි තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා හිඳපු
ආදරයද මේ.....
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ.....

නිල් කටරොළු නිල නැහැවුනු
මල් බර මුදු සුව රජයන
තොල් පෙති කල් පලදාලන
ආදරයද මේ.....
නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ.....
Back to Top